ඩෝසරය -පද්මාණි කාංචනා උඩිස්පත්තුව කවුරුත් බලා සිටියේ ඩෝසරය කොස් ගස වෙත ළං වෙන තුරු ය. කොස් ගසේ අතු කපා තිබුණි. කඳ පමණක් ඍජුව බලා සිටියේ තනිව ම සටනට සැරසුණාක් මෙනි. එහෙත් ඇඳුම් සන්නාහ ආරක්‍ෂිත පලිහ ආදී කිසිත් නැති කාය ශක්තිය පමණක් ඇති නිරුවත් යෝධයෙකු සේ ය. ඩෝසරයේ කකුළු අඬුව ගස වටා යමින් ගස මුල වූ පස් හාරාගෙන ඉවත දැමුවේ ය. ඉන් පසු ව අඬුව අකුළාගෙන පසුපසට හැරුණේය. ඒ පැත්තේ තිබුණු දැති තලයක් දික් වී ඉස්සිණි. එය ගසටම දික් වී ගස තල්ලු කළේය. එඩිය බිඳුණු සේ ගස පසෙකට ඇළ විය. ලණු කඹ කිසිවක උදව් නැතිව ගස පසෙකට ඇලවෙද්දී ඩෝසරය හඬ නගාගෙන එය තවත් තද කළේය. මොහොතකට පසු ගස ජරබරාස් ගා හඬාගෙන වැටුණි. බිමට වැටුණු ගස වැට අයිනට කරමින් ඩෝසරය ජය හඬ නැගී ය. |